ලන්ඩන් බෞද්ධ විහාරය



ලන්ඩන් බෞද්ධ විහාරය

බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද අති උතුම් දේශනා ආසියා මහද්වීපයේ සිට උතුරු ඇමෙරිකාව දක්වාත්, ඉන් පසුව බ්‍රිතාන්‍ය රාජධානිය දක්වාත් පතුරුවා හැරීමේ නියමුවා ලෙස අනගාරික ධර්‍මපාලතුමා හඳුන්වාදීමට පුළුවන. 1893 දී එතුමා ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති ආගම් පිළිබඳ විශ්ව පාර්ලිමේන්තුවේදී මෙම මාතෘකාව යටතේ දේශනා ඉදිරිපත් කළේය. එම දේශනා වල මාතෘකාව වූයේ “දක්ෂිණ ථෙරවාද බෞද්ධයෝ” යන්නයි. 1926 ජුලි මස 24 වන දින එතුමා බටහිර රටක ප්‍රථම බෞද්ධ පූජනීය ස්ථානය බටහිර ලන්ඩන් නුවර (ලන්ඩන් විහාරය) පිහිටු වූයේය.

ඉහත සඳහන් වූ ප්‍රථම බෞද්ධ විහාරය ඊලිං (Ealing) ප්‍රදේශයේ මේරි ෆොස්ටර් රොබින්සන් මහත්මිය විසින් සපයන ලද මුදල් වලින් මිලදී ගන්නා ලද බිම් කොටසක ගොඩනගන ලදී. එම භූමිය සහිත ගොඩනැගිල්ල ‘ෆොස්ටර් හවුස්’ යනුවෙන් නම් කරන ලදී. ඉන්පසුව එම ආයතනය ග්ලොස්ටර් මාවතේ පිහිටි අංක 41 දරණ (Gloucester Road) ගොඩනැගිල්ලකට රැගෙන යන ලද්දේ 1928 පෙබරවාරි මාසයේදීය. එතෙක් බෞද්ධ මිෂනාරි නිවස යනුවෙන් හඳුන්වනු ලැබූ ගොඩනැගිල්ල විහාරයක් බවට පත් කොට “ලන්ඩන් බෞද්ධ විහාරය” යයි නම් කරන ලදී.

පසුව මෙම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය රජය විසින් යුද්ධ හමුදාවේ අවශ්‍යතා සඳහා යොදා ගන්නා ලද්දේ දෙවන ලෝක යුද්ධය පැවති සමයේය. දෙවන ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුව මෙම විහාරස්ථානය නැවත වරක් කෙන්සිංටන්හි ‘රීජන්ට පාක්’ නැමති ස්ථානයෙහි විවෘත කරන ලදී. ඉන් පසුව මෙම භූමිය නිවාස සංකීර්ණයක් ලෙස භාවිතා කරන ලදී. වසර 1963 දී අනගාරික ධර්‍මපාල භාරය විසින් මෙම භූමිය මිලයට ගන්නා ලදී. දැනට එය ධර්‍මපාල භාරයට අයත් ස්ථාවර ගොඩනැගිල්ලක් ලෙස චිස්වික් (Chiswick) ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන්නේ චිස්වික්, ලන්ඩන් W4 1UD යන ලිපිනය යටතේය.

ලන්ඩන් බෞද්ධ විහාරය සහ බ්‍රිතාන්‍ය මහාබෝධි සංගමය යන ගොඩනැගිලි ද්විත්වයම අනගාරික ධර්‍මපාලතුමා විසින් එකම වකවානුවේදී ආරම්භ කරන ලදී. 1985 දක්වා විහාරය පාලනය කරන ලද්දේ බ්‍රිතාන්‍ය මහාබෝධි සංගමය මගිනි. වර්තමානයේ මෙම විහාරය අනගාරික ධර්‍මපාල භාරය මගින් පවත්වාගෙන යනු ලැබේ. බ්‍රිතාන්‍ය මහාබෝධි සංගමය වෙනම ඒකකයක් වශයෙන් පවතින අතර එහි ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ ලන්ඩන් බෞද්ධ විහාර ගොඩනැගිල්ලෙහිය.

ප්‍රධාන සංඝනායක : පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමි, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක.

නේවාසික භික්ෂූන්වහන්සේ : පූජ්‍ය තවලම බන්දුල හිමි, රාහුල දහම් පාසැලෙහි විදුහල්පති.

විහාර කළමනාකරණ කමිටුව :ලකී පනාගොඩ මහතා, සුදන්ත අබේකෝන් මහතා, ලෙස්ලි ඩෙප් මහතා, නිහාල් වීරසේන මහතා

ලන්ඩන් බෞද්ධ විහාරය

ලන්ඩන් බෞද්ධ විහාරයේ පිරිත් පිංකමක්

වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න :londonbuddhistvihara.org



img