ප්‍රතිලාභීන්

සර් එඩ්වින් ආර්නල්ඩ් මහතා

සර් එඩ්වින් ආර්නල්ඩ් මහතා

සර් එඩ්වින් ආර්නල්ඩ් මහතා පුවත්පත් ලේඛකයෙකු, ගුරුවරයෙකු හා පෙරදිග විෂය ධාරාවන් හැදෑරූ ශිෂ්‍යයෙකු ද විය. එතුමා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පිළිබඳ බෙහෙවින් දැනුම රැස්කර ගත් අතර එම අධිරාජ්‍යයේ කටයුතු ගැන දැඩි උනන්දුවක් දැක්විය. එසේ වුවද හෙතෙම පැරණි ඉන්දියානු සංස්කෘතික උරුමයන්ද බොහෝ සේ අගය කළේය. ඔහු මුලින්ම ඉන්දියාවේ පූනා නගරයට ගියේ ගුරුවරයෙකු ලෙසය. පසුව ඔහු විදුහල්පති වරයෙකු බවට පත් විය. බුද්ධගයාව පුනරුත්ථාපනය කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ මෙතුමා හටය. බුද්ධගයාව යනු බෞද්ධයින්ගේ අතිශයින්ම වැදගත් පූජනීය ස්ථානයකි. 1886 වසරේ දී බුද්ධගයාවේ සංචාරයක යෙදුනු මෙතුමා, ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන ජනතාවගේ අවධානය බුද්ධගයාව වෙත යොමු කිරීමට පියවර ගත්තේය.

එඩ්වින් ආර්නල්ඩ් කතුවරයාගේ ලිපි ලන්ඩන් නුවර ‘ඩේල් ටෙල්ග්‍රාෆ්’ (Daily Telegraph) පුවත්පතේ පළ වූ අතර ඒ මගින් බුද්ධගයාව නිදහස් කර ගැනීමටත් යළිත් එය බෞද්ධයින් වෙත පවරාදීමටත් බෙහෙවින් උපකාරී විය. මේ සඳහා ඉංග්‍රීසි බස භාවිතා කළ උගත් බෞද්ධයින් වහා ක්‍රියාකාරී වූහ. එකළ ප්‍රසිද්ධ යටත් විජිත පාලනය කළ නිලධාරීන්ගේ සහායද ඔවුන් හට නොමදව ලැබිණි. “ආසියාවේ ආලෝකය” නැමති කාව්‍යමය ග්‍රන්ථය පිළිබඳ තොරතුරු මේ වන විට ඉන්දියාවේ ජාතික නායකයන් හටද ලැබී තිබුණි. මහත්මා ගාන්ධිතුමා, ජවහර්ලාල් නේරු තුමා සහ ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කාර් වැනි ඉන්දීය ජාතික නායකයෝ බුද්ධගයාව අන්‍යාගමිකයන්ගෙන් බේරා ගැනීමට යුහුසුලු වූහ. ඒ අනුව මෙම නායකයෝ 1949 බුද්ධගයා විහාර පනත නමින් පනතක් සම්මත කර ගත්හ. එම පනත සම්මත වූයේ ඉන්දියාව නිදහස ලබා වසර දෙකක් ගත වීමත් සමගය. මෙම පනතට අනුව බුද්ධගයා විහාරස්ථානයේ අයිතියෙන් 50% ක (සියයට පණහක) බලය බෞද්ධයින් හට පැවරුණු අතර හින්දු හා බෞද්ධ සාමාජිකයින්ගෙන් සමන්විත වූ පාලන කමිටුවකට එහි පාලන බලය හිමි විය.

මේ අතර සර් එඩ්වින් ආර්නල්ඩ් මහතා සහ අනගාරික ධර්‍මපාලතුමා අතර දැඩි මිත්‍රත්වයක් සහ සබඳතාවයක් ඇති විය. අනගාරික ධර්‍මපාලතුමා ලන්ඩන් නුවරට ගිය සෑම අවස්ථාවකදීම එතුමාව මුණ ගැසීම සඳහා ආර්නල්ඩ් මහතා නැව් තොටුපලට පැමිණ සිටියේය. එඩ්ව්න් ආර්නල්ඩ් මැතිතුමා ධර්‍මපාලතුමාට සිය නිවසේ නවාතැන් දී ආගන්තුක සත්කාර කළ අතර එංගලන්තයේ විසූ උගත් පුද්ගලයින් රාශියකට ධර්‍මපාලතුමාව හඳුන්වා දුන්නේය. එඩ්ව්න් ආර්නල්ඩ් මහතා විවිධ භාෂා පිළිබද පරිනත දැනුමක් ලබා සිටි අයෙකි. එතුමා ඉංග්‍රීසි භාෂාව පමණක් නොව ජපන්, ලතින්, පාලි, සංස්කෘත, තුර්කි, අරාබි, ග්‍රීක, ප්‍රංශ, ජර්මානු, හීබෲ, පර්සියානු සහ චරාති භාෂාවන් පිළිබදවද පුළුල් දැනුමක් ඇති චතුර කථිකයෙකු විය. ඉහත සඳහන් වූ ඔහුගේ කාව්‍යමය ලිපි ලේඛන ඩී.එච්. ලෝරන්ස්, ටී.එස්. එලියට්, රුඩියාඩ් කිප්ලිං, ඩබ්ලිව්.බී. යීටිස්, ලියෝ ටෝල්ස්ටොයි සහ ජේම්ස් මෑස්ෆීල්ඩ් වැනි අයගේ ලේඛන වලට සම කිරීමට තරම් උසස් ගුණයෙන් යුක්ත විය.

ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් මහතා පවා ජවහර්ලාල් නේරුතුමාට ලිපි ලිවීමේදී “ආසියාවේ ආලෝකය” ග්‍රන්ථයෙන් කාව්‍යමය කොටස් උපුටා ගත්තේය. ශ්‍රීමත් ජයහර්ලාල් නේරු තුමා ආසියාවේ ආලෝකය ග්‍රන්ථයේ පිටපතක් හැමවිටම තමා වෙත තබා ගත් බවත්, නේරු තුමා දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදීමට එරෙහිව සිරගත වූ අවස්ථාවන්හීදී පවා මෙම කාව්‍යමය ග්‍රන්ථය එතුමාට මානසික අස්වැසිල්ලක් ලබා දුන් බව සඳහන්වේ. මෙම කාව්‍යය භාෂා 13 කට පරිවර්තනය කරන ලද බවත්, ඒ ඇසුරෙන් නාට්‍ය, චිත්‍රපටි හා ගීත නාට්‍යයන් නිර්මාණය වූ බවත් සඳහන්වේ. සෑම ශ්‍රී ලාංකික බෞද්ධ නිවසකම පාහේ මෙම ග්‍රන්ථයේ පිටපතක් එකල පැවති බව සඳහන් වේ. ආර්නල්ඩ් කතුවරයා තුන්වරක් විවාහ විය. ඔහු අවසන් වරට විවාහ වී සිටියේ ජපන් කාන්තාවක් සමගය. ඔහුට දාව පුතුන් සිව් දෙනෙකු සිටියහ. ඉන් එක් අයෙකු කෙටි කාලයකදී ලංකාවේ කෝපි වතු පාලකයෙකුව සිටි බවත් සඳහන්වේ. YMBA (ලංකාවේ තරුණ බෞද්ධ සමිතිය) මගින් මේ දක්වා Light of Asia කථික තරඟ වාර්ෂිකව පවත්වනු ලැබේ. එම තරඟ තුලින් සර් එඩ්වින් ආර්නල්ඩ් කතුවරයා විසින් 19 වන සහ 20 වන සියවස් තුල සිය ග්‍රන්ථය තුලින් ඇති කළ අනූපමේය සේවය සිහිගන්වයි.

For more details see:
https://www.gutenberg.org/ebooks/8920
https://www.bps.lk/olib/wh/wh159_Peiris_Edwin-Arnold--His-Service-To-Buddhism.html
Ramesh, J (2021). The Light of Asia: The Poem that Defined India. Penguin, Gurgaon.

img