අනගාරික ධර්මපාලයන්ගේ ජීවිතය

(1864 සැප්තැම්බර් 17 සිට 1933 අපේ‍්‍රල් 29 දින දක්වා)

අනගාරික ධර්මපාල

(1885 සිට-1931 දක්වා)

තරුණ අනගාරික (නිවසක් නොමැති* ගිහියකු හා පැවිද්දකු අතරමැදි තපස්වරයකු ලෙස තම ජීවිතයේ නව අවධිය ඇරඹීය. ඔහු කොළඹ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ පදිංචි වී සිට එම සංගමයේ දියුණුව සහ බෞද්ධ ආගමේ ප‍්‍රචලිත කිරීම උදෙසා ඇප කැපවී කටයුතු කළේය.

එතුමාගේ මරණින් පසුව එක් විශ්ලේෂණයක මෙසේ ලියා ඇත.

”කිසිම දෙයක් ඔහුට ඉතා සුළු හෝ ඉතා විශාල නොවීය. තම කාමරය පිරිසිදු කිරීම, ඇඳ සකස් කර ගැනීම කාර්යාල කටයුතුවලට අනුගත වීම ලිපි තමා විසින්ම ලියා එවා තැපැල් කිරීමට රැගෙන යාම ගුණධර්මය පිළිබඳ කාරණයන් ලෙස නොව දෛනික කාර්යයන් සේ ඉටු කළේය. ඔහු කෙනෙකු වෙනුවෙන් වරෙකදී භාෂා පරිවර්තනය කළ අතර විටෙකදී ඔහු කෙනකු වෙනුවෙන් ක‍්‍රියා පිළිවෙලක් සකස් කළේය. තවත් අයෙකු වෙනුවෙන් දේශනයක් පරිවර්තනය කර දුන්නේය. පුවත්පත් සඳහා මුල් ලිපි ලිව්වේය. කතුවරුන් සමග පුවත්පතේ ප‍්‍රතිපත්ති ගැන සාකච්ඡුා කළේය.

img

අවශ්‍ය සෝදු පත් බලමින් ඔවුන්ට සහය විය. කාර්යාලය වෙත පැමිණෙන අය හා සම්මුඛ සාකච්ඡුා පැවැත්වීය. ලංකාවේ සියලූ ජනතාවට ලියා විවෘත ආරාධනයක් කරමින් තම ප‍්‍රධාන කාර්යාලය වෙත පැමිණ එහි අභිවෘද්ධිය උදෙසා තම හොඳ හිත පළකරන ලෙස ඔහු ඉල්ලීය. ඔහුට සෑම කෙනෙකුම එක හා සමානය කිසිවෙකු වැඩිහිටියෝද තරුණ හෝ මහළු හෝ පාසල් සිසුවකු හෝ උගත් නූගත් දුප්පත්, පොහොසත් තරා තිරම ඔහුට වැදගත් නොවීය. පොදු යහපත උදෙසා එකිනෙකාගේ දායකත්වය කුමක්දැයි ඔහු සහජයෙන් දැන සිටියේය. ඔහු ආසන්න වශයෙන් දිනකට පැය 15-16 පමණ දිගටම පරිශ‍්‍රමයෙන් වැඩ කළේය.(සංඝරක්ෂික B(1952), අනගාරික ධර්මපාල : චරිතාපදාන සටහනක්, බෞද්ධ ප්‍රකාශන සංගමය, මහනුවර)

1886 වසරේදී අමෙරිකානු පරම විඥානාර්ථවාදියකු වූ හෙන්රි ස්ටීල් ඔල්කොට් තුමා සහ චාර්ල්ස් වෙබ්ස්ටර් ලිඞ්බීටර් (පසු කාලයේදී අප රටේ විශාලතම බෞද්ධ ද්විතීය පාසලක් වූ ආනන්ද විදුහලේ ප‍්‍රථම ප‍්‍රධානාචාර්ය තුමන්* ලංකාව පුරා සැරි සරමින් තම අධ්‍යාපන ව්‍යාපෘති සඳහා අරමුදල් රැස්කිරීමේ කටයුතුවල නියැලෙද්දී තරුණ අනගාරික ඔවුන් සමග ගමන් කරමින් ඔවුන්ගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කළේය. මේ දිගු ගමන්වලදී තරුණ අනගාරික ලංකාවේ ඈත පෙදෙස්වල දුප්පත් නූගත් ගැමි ජනතාව දැන හැඳින ඔවුන්ගේ දරිද්‍රතාවය පිළිබඳව හා යටත් විජිත පාලකයන් පිළිබඳව දක්වන නියත බියද මහත්සේ අවබෝධ කර ගත්තේය.

වර්ෂ 1886-1890 දක්වා කාලයේදී ඔහු සංගමයේ සාමාන්‍යාධිකාරි සහ සහය ලේකම් ලෙස ද කටයුතු කරමින් තරුණ අනගාරික තරුණයා හේවාවිතාරණ ධර්මපාල යන නාමය භාවිතා කිරීමට යෙදුන අතර පසු කාලෙදී එය එච්. ධර්මපාල යනුවෙන් ද ඊට පසු අනගාරික ධර්මපාල (සියලූ දේ අත්හල සත්‍යයේ රැ කවල් කරු* යනුවෙන් ද වෙනස් විය. ඔල්කොට් සහ ලීඞ්බීටර් සමග එක්වීමත් සමග තරුණ අනගාරික ප‍්‍රථම වරට මුද්‍රණ ශිල්පය සහ ප‍්‍රකාශන අංශය වෙත යොමු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙසින් ”සරසවි සඳරැස” සහ 1888 ”The Buddhst” (බෞද්ධයා) ප‍්‍රකාශනයද මුද්‍රණය විය. (මේ කාර්යයන් සඳහා ප‍්‍රධාන වශයෙන් ඔහුගේ සීයා සහ මිතුරන් ද දායක විය.)

කෙටි කලකින්ම ඔහුගේ නමක් නැති බෞද්ධ කටයුතු විසින් ඔහුගේ ජීවිතය අත්පත්කරගන්නා ලද අතර 1889 දී ඔල්කොට් තුමන් සමගින් ජපානය වෙත යාමට සිදුවීමෙන් එය ආරම්භ විය. ඔවුහු ජපානය පුරා සැරසරමින් දේශන පවත්වමින් ලංකාවේ විසූ බහුශුත විද්වත් පූජ්‍ය හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමිනම විසින් ජපානයේ වෙසෙන බෞද්ධයන් වෙත ශුභ පතමින් සංස්කෘත භාෂාවෙන් ලියන ලද ලිපියෙහි සඳහන් දෑ පැහැදිලි කළේය. මෙම ලිපිය වනාහි දකුණුදිග බෞද්ධ සංස්කෘතික පිළිවෙත් රකින භික්‍ෂුවක් උතුරුදිග බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කරන්නන් හට යැවූ ප‍්‍රථම ලිපියයි.

ඒ කෙසේ වෙතත් 26 වියැති ධර්මපාලයන්ගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානය වූයේ ඉංග‍්‍රීසි ජාතික සර් එඞ්වින් ආර්නොල්ඩ් සාමිවරයා විසින් රචනා කරන ලද LIGHT OF ASIA නමැති සුප‍්‍රකට කාව්‍ය කියවීමෙන් අනතුරුවය. එවකට නොසලකා හරිනු ලැබ පැවති බුද්ධ ගයාව නොහොත් බුදුන් බුද්ධත්වය ලැබූ ස්ථානය වෙත යෑමට ඔහුට අදහස් පහළ විය. එම කාලයේදී බි‍්‍රතාන්‍ය පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද කැණීම් හේතුවෙන් බුද්ධ ස්පර්ශය ලද තවත් පූජනීය ස්ථාන රැසක්ම සොයා ගැනීමට හැකි වූ බවට පුවතක් පළවී තිබුණි. ධර්මපාලයන් 1891 ජනවාරි මස 22 දා ජපාන ජාතික භික්‍ෂුනමක් වූ කෝශේන් ගුණරතන හිමි සමග බුද්ධගයාව වෙතට ගමන් කරන ලදී. එහිදී අනගාරික ධර්මපාලතුමා අත් විඳ දේවානුභාව සම්පන්න අත්දැකීම් මේ අයුරින් විස්තර කළේය.

”උදෑසන ආහාරයෙන් ඉක්බිතිව අපි දුර්ගා බාබු සහ ආචාර්ය චැටර්ජි සමග බෞද්ධයින්ට අති පූජණීය ස්ථානයක් වූ බුද්ධගයාව වෙත ගමන් ඇරඹීමු. ගයාහි සිට සැතපුම් හයක් පමණ දුර ගිය පසු මෙම පූජණීය ස්ථානය වෙත අප ළං වීමු. එහි ළ`ගාවීමට සැතපුමක පමණ දුර සිට කඩා බිඳ දමා ඇති පිළිම බොහෝ ගණනක් අවට පුරා විසිරී ඇති අයුරු අපි මැනවින් දුටිමු. මේවා අපගේ භාග්‍යවතුන් වහන්සේගේය. මහන්ත්ගේ (MHANT)” දෙවොල වෙත ප‍්‍රවිෂ්ඨ වන දොරටුවේ ඇති පීඨිකාවේ දෙපසම අප භාග්‍යවතුන් වහන්සේගේ පිළිරූ තිබුණි. ඒවා ධ්‍යානයට සමවැදී ඉන්නා ඉරියවුවෙන් තිබුණි. කෙතරම් පූජණීය වූ විහාර මන්දිරය මාගේ ස්වාමීන් ආසනය මත වැඩ සිටින අයුරු අවට නිහඬතාවය සමග ගාම්භීර සිතුවිලි සමුදාය මා තුළ නිතැතින්ම පහළව තිබුණි. සැදැහැවත් කෙනෙකුගේ සිත් උණුවී කඳුළෙන් දෑස් තෙත් වනු ඇත. කෙතරම් ප‍්‍රිය ජනකද? වජ‍්‍රාසනය මත මා නළල තැබූ සැණකින්ම මාගේ මණස තුළ පුදුම ආවේගයක් හට ගැනුණි. ඒ සැනින් මට දැනුණේ මෙහි නතරව මෙම ශුද්ධ වූ ස්ථානය රැක බලාගත යුතු බවට ඉ`ගියකි. මෙම ශුද්ධ වූ ස්ථානය වැන්නක් ලොව කිසිම තැනක නැති බවට මම පසක් කර ගතිමි. මෙහි බෝධිය සෙවණේ ශාඛ්‍යසිංහ කුමරුන් බුද්ධත්වයට පැමිණියේය. මේ ආවේගි සිතුවිලි මා තුළ පහළ වූ සැණින් මම කෝශේන් භික්‍ෂුවගෙන් මෙසේ ඇසීමි. ඔබ මාගේ මේ කර්තව්‍යයේදී මා සමග එක්වනවාදැයි ඇසීමි. ඔහු මහත් ප්‍රීතියෙන් මට පිළිතුරු දෙමින් කීවේ ඔහුට ද මෙවැනිම සිතුවිල්ලක් පහළ වූ බවයි. අපි දෙදෙනාම මහත් ගරු ගාම්භීරයෙන් ප‍්‍රතිඥාවක් දෙමින් කවර හෝ බෞද්ධ පූජකවරු මෙම ස්ථානයට වඩින තෙක් අපි මෙතැන නතර වෙමුයයි අදිටන් කර ගතිමු.” (සංඝරක්ෂික B (1952), අනගාරික ධර්මපාල : චරිතාපදාන සංක්ෂිප්තය, බෞ.ප්‍ර.ස.

එම මොහොතේ ලද මහත් ප‍්‍රබෝධයෙන් ධර්මපාලයන්ගේ බුද්ධගයාව සහ සාරානාත් නැවත බෞද්ධයින්ගේ වන්දනා මාන සඳහා ලබා ගැනීමේ ශුද්ධ වූ මෙහෙවර ඇරඹුණි. එම අදහස් මුදුන් පමුණුවා ගැනීමේ අභිප‍්‍රායෙන් ඔහු කොළඹ මහ බෝධි සංගමය 1891 දී පිහිටුවන ලදී. එහි ආරම්භක සභාපති වශයෙන් පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ ද එහි ලේකම් වශයෙන් ඔහු කටයුතු කලේය. මෙය ඔහුගේ ජීවිතයේ මූලික මෙහෙවර විය.

ඒ එසේ වුවත් හිතන්නට බැරි තරම් වැඩ කටයුතු රාශියක් සහ හේතු කාරක රාශියක් තමා පිට පවරා ගැනීමට තරම් සුවිශේෂ වූ කාය ශක්තියක් ඔහු සතුව තිබුණි. ලෝක සත්වයා වෙත බුදු වදන ව්‍යාප්ත කරවීමටත් බෙදී වෙන්වී ගිය බෞද්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර වත් පිළිවෙත් ඇදැහූ අය නැවත එකම විශ්ව සමාජයකට කැඳවීමටත් ඉන්දියාවේ සහ ලංකාවේ දුප්පතුන් දැනුවත් කිරීමට ඒ මගින් සංස්කෘතික පුනරුදයක් ඇති කොට ලංකාවේ දුගී ජනයා තුළ ඔවුන්ගේ ස්වකීය වටිනාකම පිළිබඳ හැ`ගීම වර්ධනය කිරීම ත් ඔහුගේ මෙහෙවරෙහි ඇතුළත් ප‍්‍රධාන කරුණුය.